පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ උපන් දිනය දවසේ දේශපාලන කතාබහක්ද සිදුවී තිබෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගයේ සමගිවීම පිළිබඳවයි.
රවිගේ උපන් දිනය යෙදී තිබුණේ 2026-02-19 වැනිදාටය. එදින පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ උපන් දින සැමරුමක් පැවති අතර එම උත්සවය රවි කරුණානායක මහතාට දැනුම් නොදී සංවිධානය කිරීමට සමගි ජන බලවේගය තීරණය කිරීම විශේෂත්වයක් විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ එම උපන් දින සාදය සංවිධානය කළේ සුජීව සේනසිංහ මහතා ප්‍රධාන කණ්ඩායමක් විසිනි.
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරු ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිස් දෙනකු පමණ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මෙම උපන්දින සැමරුමට එක්ව සිටියහ.
රවී කරුණානායක මහතා පැමිණි පසු මෙහි සිටි මන්ත්‍රීවරුන් "Happy Birthday To You" කියමින් රවී කරුණානායක මහතාට සුභ පැතූ අතර උපන්දින කේක් ගෙඩි දෙකක්ම ගෙනවිත් තිබුණේ පැමිණ සිටි සියලුම දෙනාට සංග්‍රහ කිරීම සඳහාය.
සියලු දෙනාගේ සුභ පැතුම් සහ අත්පොලසන් මැද කේක් ගෙඩිය කැපූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මුල්ම කේක් කෑල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ මහතාට කැව්වේ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ සමගිය තහවුරු කරමිනි.
රවී කරුණානායක මහතාට සුබ උපන් දියක් පතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයත් එක්සත් ජාතික පක්ෂයක් එක් වීම ගැන රටේත්-ජන සමාජයේත්-පාක්ෂිකයින් අතරත් විශාල උනන්දුවක් පවතින බවය.
මේ සමගිය සහ එකමුතුව වෙනුවෙන් සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ සියලුම දෙනා මේ අවස්ථාවේදී කැපවී සිටීම අගය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
රවී කරුණානායක මහතා ද ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ මෙම පක්ෂ දෙකට එකතු වී රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කිරීමට හැකි බවය. එම සේවය ජනතාව බලාපොරොත්තු සිටින බවත් අනිවාර්යයෙන්ම මෙම පක්ෂ දෙකේ සාමාජිකයින් මේ වන විටත් එකතු වෙමින් සිටින බවත් රවි කරුණානායක මහතා පෙන්වා දුන්නේය.
මෙම උපන් දින උත්සවය සංවිධානය කළ සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා කියා සිටියේ විපක්ෂයේ සමගිය සහ එකමුතු භාවය ශක්තිමත් කිරීම වෙනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ උපන් දින සඳහා මෙවැනි චාම් සැමරුම් උත්සව දිගටම සංවිධානය කිරීමට කටයුතු කරන බවය.

Lanka Newsweek © 2026